නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර දැක්වීම මඟින් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ අනතුරට පත් “PERL LINK” යාත්‍රාවේ සිටි මගීන් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් වෙයි

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගත් PERL LINK නමැති මගී ප්‍රවාහන යාත්‍රාව, 2025 ජුලි මස 12වැනි දින ආපදාවට පත්ව මුහුදු බත් වූ අතර, එහිදී මුදාගත් එම යාත්‍රාවේ සිටි සංචාරකයන් දොළොස් දෙනා (12) සහ කාර්යමණ්ඩලයේ දෙදෙනා (02) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදේ “PERL LINK” නමැති මගි යාත්‍රාව ආපදාවට පත්ව, එම මුහුදේ ගිලෙමින් පවතින බවට, ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත ලද තොරතුරක‍ට අනුව, වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ආයතනයට අනුයුක්ත යාත්‍රාවක් ජීවිතාරක්‍ෂක උපකරණ සහිතව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි. එහිදී, වෙනත් යාත්‍රාවකද සහය සහිතව ආපදාවට පත් යාත්‍රාවේ සිටි මගීන් දොළොස් දෙනා (12) සහ කාර්යමණ්ඩලයේ දෙදෙනා (02) නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, මුදාගත් පිරිස කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත රැගෙන ඒමට මෙලෙස නාවික හමුදාව සහාය විය.

ඩෙල්ෆ්ට් දූපතේ සිට දේශීය සංචාරකයන් දොලොස්දෙනෙකු (12) රැගෙන ආපසු පැමිණෙන අතරවාරයේ, PERL LINK මගී ප්‍රවාහන යාත්‍රාව තුලට ජලය කාන්දුවී මෙලෙස ආපදාවට පත්ව ඇත.

තවද, දේශීය ජල තීරය තුල ආපදාවට පත්වන පිරිස් මුදාගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සහ සූදානමෙන් සිටින අතර, මෙම ආපදා තත්වය හමුවේ ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ආපදාවට පත් යාත්‍රාවේ සිටි සියළුම දෙනා නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාවට හැකි විය.