රුපියල් මිලියන 24කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම, කුඩිඉරිප්පු සහ පේසාලේ අතර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි හතරකට (24) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දහයයි (110) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් තලෙයිමන්නාරම, කුඩිඉරිප්පු සහ පේසාලේ අතර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ සැකකටයුතු උර තුනක් (03) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුළ අසුරා තිබූ කේරළ කංසා කිලෝ එකසිය දහයයි (110) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසිහතරකට (24) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.