ත්‍රීකුණාමලය, වෙරුගල්ආරු ග‍ඟේ ගිලෙමින් සිටි දරුවෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරා ගනියි

ත්‍රීකුණාමලය, වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්, වෙරුගල්ආරු ග‍ඟේ ජිවිතාරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින්, එම ගංගාවේ ගිලෙමින් සිටි දරුවෙකු (01) නිරුපද්‍රිතව බේරා ගැනීමට 2025 සැප්තැම්බර් මස 05 වැනි දින කටයුතු කෙරිණි.

ත්‍රිකුණාමලය, වෙරුගල් මුරුගන් හිංදු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව විශේෂ ජීවිතාරක්‍ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව, වෙරුගල් හිංදු දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවය සඳහා සහභාගීවූ පිරිසක් වෙරුගල් ආරු ග‍ඟේ දිය නාමින් සිටින අතරතුර, කුඩා ගැහැණු දරුවෙකු (01) දියේ ගිලෙමින් සිටින බවට නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් නිරීක්‍ෂණය කර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම දරුවා මෙලෙස නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙලෙස බේරාගත් දරුවා වයස අවුරුදු 07ක් වන ත්‍රීකුණාමලය පට්ටනන්තාරේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන අතර, මුලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු එම දැරිය නාවික හමුදාව විසින් පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.