නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 10 වැනි දින මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් අනූ එකක් (91) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2025 සැප්තැම්බර් මස 10 වැනි දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් පේසාලෙයි නාවික අනුඛණ්ඩය මඟින්, පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ආ, පරවියන් හැත්තෑ දෙකක් (72) සහ පොර කුකුළන් දහනවයක් (19) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 17ක් සහ 52ක් ‍වන පේසාලෙයි සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්‍ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.