නීති විරෝධී ධීවර පන්නක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 78 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 01 සිට 15 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් හැත්තෑඅට දෙනෙකු (78) සමඟ ඩිංගි යාත්‍රා තිස්පහක් (35) සහ බහුදින ධීවර යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදුකරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා සහ නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රීකුණාමලය කල්ලරාව, වලෙයිතෝට්ටම්, කොකනට් පොයින්ට්, ෆ්ලෑග්ස්ටාෆ් පොයින්ට්, නොර්වේ අයිලන්ඩ්, බොල්ඩර් පොයින්ට්, කොකිලායි, රෙඩ් රොක්, තුඩුව, චිලාවත්ත, ජයනගර් සල්ලිමුනායි, කුච්චවේලි, අඩුක්කුපාඩු සහ කින්නියා යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදිත්, උතුරු නාවික විධානය මඟින් යාපනය චුන්ඩිකුලම් හා කදෙයිකාඩු මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සහ ගිණිකොන නාවික විධානය මඟින් කරෙයිතිව් සිට නින්දවූර් දක්වා මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් ධිවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල සැක‍කරුවන් හැත්තෑ අටදෙනෙකු (78) සමඟ ඩිංගි යාත්‍රා තිස්පහක් (35) සහ බහුදින ධීවර යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සාම්පූර්, වෙරුගල්, කොඩ්බේ, කුච්චවේලි, කින්නියා, මුලතිව්, මඩකලපුව, කල්මුනේ සහ යාපනය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.