නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1197ක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු සිලාවතුරේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 18 වැනි දින සිලාවතුර, පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එකසිය අනුහතක (1197) පමණ තොගයක්, සබන් කැට එක්දහස් හත්සිය හැටපහක් (1765) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ, 2025 සැප්තැම්බර් මස 18 වැනි දින උදෑසන සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්‍රාව තුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසුපහක (485) පමණ තොගයක් සහ සබන් කැට හත්සිය හයක් (706) සමඟ සැකකරුවෙකු (01) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, ප්‍රදේශයේ සිදුකල වැඩිදුර සෝදිසි කිරීමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ තවත් බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය දොලහක් (712) සහ සබන් කැට එක්දහස් පනස්නවයක් (1059) එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩිංගි යාත්‍රාව, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1197ක තොගය සහ සබන් කැට 1765ක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.