නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව මෝරවල වෙරළ තීරයේ 2025 සැප්තැම්බර් මස 24 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් පහකට (835) අධික තොගයක් සහ කෘමි නාශක කිලෝ ග්‍රෑම් හයසිය තිස් පහක (635) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය මඟින්, දුන්ගල්පිටිය පොලීසිය හා එක්ව, මීගමුව මෝරවල වෙරළ තීරයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා තුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් පහකට (835) අධික තොගයක් සහ කෘමිනාශක කිලෝ ග්‍රෑම් හයසිය තිස් පහක (635) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ඩිංගි යාත්‍රා තුන (03) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක්‌ වන මීගමුව දකුණු පිටිපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර; එම සැකකරු, බීඩි කොළ හා කෘමිනාශක තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.