දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2025 සැප්තැම්බර් මස 28 වැනි දින අළුයම් කාලයේ,යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2025 සැප්තැම්බර් මස 28 වැනි දින අළුයම් කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට උතුරින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01), ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස් දෙනා (12) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.