නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වේලනිතුරෙයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය, වේලනිතුරෙයි ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් දෙසීය හතලිහක (1240) පමණ තොගයක් සහ කැබ් රථයක් (01) නිතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2025 ඔක්කෝබර් මස 14 වැනි දින උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව වේලනිතුරෙයි ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලාගන්නා ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් දෙසීය හතලිහක (1240) පමණ තොගයක් සහ එම කැබ් රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 50 ත් අතර වයසේ පසුවන අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.