නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 956 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තුඩාව වෙරළ සහ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 27 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය පනස් හයක (956) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් තුඩාව වෙරළ සහ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුහුදේ පාවෙමින් තිබූ උර දහයක් (10) සහ එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ උර විස්සක් (20) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන යාමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මුහුදේ සහ එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමන ලද, බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය පනස් හයක (956) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.





