නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ 793ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය එක්ව, 2025 ඔක්තෝබර් මස 28 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් දුපතේ සහ මීගමුව මාඔය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය අනූතුනක (793) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, පුත්තලම සුරාබදු විශේෂ ඒකකය හා එක්ව කල්පිටිය ඉප්පන්තිව් දූපතේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම දූපතේ ලඳු කැලෑවක සඟවා තිබූ උර පහලොවක් (15) පරීක්‍ෂාවට ලක් කර, එම උර තුල අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසූ හතරක (484) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණි.

එමෙන්ම, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මීගමුව මාඔය කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී, එම ඩිංගි යාත්‍රාව තුල උර අටක (08) අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය නමයක (309) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නිතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම මෙහෙයු‍ම් මගින් වයඔ නාවික විධානයේදී නිතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොග‍ය පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත සහ බටහිර නාවික විධානය විසින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය හා ඩිංගි යාත්‍රාව කටුනායක රේගු අධිකාරි කාර්යාලය වෙතත් ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.