දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 02 වැනි දින සහ අද (2025 නොවැම්බර් 03) අළුයම් කාලයේ, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු මඟින්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එමඟින් මෙරට සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම හා දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් වූ සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම, ස්ථිර කැපවීම අවධාරණය කෙරේ.
ඒ අනුව, 2025 නොවැම්බර් මස 02 වැනි දින සහ අද (2025 නොවැම්බර් 03) අළුයම් කාලයේ, යාපනය වෙත්තලකේනි සහ අනලතිව් දූපතට ඔබ්බෙන්වූ දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙත සහ මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.


