නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති, දියර සහ අලේපන තොගයක් සමඟ සැකකරුවන් 04ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 06 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනි නාවික අණුඛණ්ඩය මඟින්, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කරුවලකුඩා වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදි එම ඩිංගි යාත්‍රාව මඟින් රැගෙන විත් කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ සඟවන ලද උර දහ හතක (17) අසුරා තිබූ ඖෂධ පෙති හරදහස් හයසිය පහක් (4605), ඖෂධීය ආලේපන පහලොස් දහස් හයසිය විසිහතක් (15,627), ඔෂධ දියර බෝතල් හාරසිය අනුහතරක් (494) සහ ඔෂධ පැකට් හාරදහස් විස්සක් (4020) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 32 අතරේ පසුවන කල්පිටිය, තෝරයාඩි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකවන්, ඖෂධ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.










