නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් පුත්තලම මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කාරතිවු මුහුදු ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරී බලඝන මුලස්ථානය විසින් 2025 නොවැම්බර් මස 20 වන දින පුත්තලම කාරතිවු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණ‍ය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර දහ තුනක (13) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කෘමිනාශක තොගය, සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.