අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි 2025 නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (2025 නොවැම්බර් 28) අඛණ්ඩව සිදුකරමින් සිටියි.
ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයන් 911 දෙනෙකු 2025 නොවැම්බර් මස 27 දින වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම, සැඩ සුළං හේතුවෙන් ඇද වැටුණු ගස් ඉවත් කිරීම, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදාගැනීම, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් නාවික හමුදාව අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා අමතර ආපදා සහන කණ්ඩායම් සෑම නාවික විධානයකම සූදානමෙන් තබා ඇත.















