ජාතික ආපදා තත්වය මත නාවික හමුදාව සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 10,099ක් වෙත ආපදා සහන
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වී ඇති ජාතික ආපදා තත්වය මත, නාවික හමුදාව මුළු දිවයිනම ආවරණය වන පරිදි ආපදා සහන මෙහෙයුම් 2025 නොවැම්බර් මස 22 දින සිට සිදුකරනු ලබයි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මේ දක්වා (2025 නොවැම්බර් 30) සිදුකල මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් මඟින්, පුද්ගලයන් 10,099 දෙනෙකු වෙත ආපදා සහන සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇති අතර, මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින්; ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක තුල සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුර තත්වය හමුවේ ජීවිත අවදානමට පත් පුද්ගලයන් 195 ක් මුදා ගැනීමටත්, පුද්ගලයන් 1632 ක් ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරුණු අතර, වයඹ නාවික විධානය මඟින් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුල සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, පුද්ගලයන් 580 දෙනෙකු මුදා ගැනීමටත්, පුද්ගලයන් 3924 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.
එමෙන්ම, බටහිර නාවික විධානය මඟින්; කොළඹ, මහනුවර, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, පුද්ගලයන් 303ක් මුදා ගැනීමටත්, 478ක් ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමත් සිදුකෙරිණි. දකුණු නාවික විධානය මඟින් ගාල්ල දිස්ත්‍රික්කය තුල සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, පුද්ගලයන් 22 දෙනෙකු මුදා ගැනීමටත්, 355 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානය මඟින්, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 250 දෙනෙකු මුදා ගැනීමටත්, පුද්ගලයන් 903 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරුණු අතර, ගිණිකොන නාවික විධානය විසින් අම්පාර දිස්ත්‍රික්කය වෙත අනුයුක්ත කෙරුණු කණ්ඩායම් මඟින් ගංවතුර තත්වය හමුවේ ජීවිත අවදානමට පත් පුද්ගලයන් 1444 දෙනෙකු සහ උතුරු නාවික විධානය මඟින් පරන්තන් ප්‍රදේශයේදී ආපදාවට පත් පුද්ගලයන් 13 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.
























































