රුපියල් මිලියන 14 කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලායි වෙරල ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරල ප්‍රදේශයේ සඟවා තිබු විදේශීය කන්සා කිලෝ 62 ග්‍රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙල්ලායි වෙරල ප්‍රදේශයේ වැලි යට සඟවා තිබූ සැකකටයුතු උර දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම උර තුළ තිබී විදේශීය කන්සා කිලෝ හැටදෙකයි (62) ග්‍රෑම් දෙසීයක (200) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කන්සා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහ හතරකට (14) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කන්සා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.