නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 09 වැනි දින පුත්තලම විජයකටුපොත, 61 කණුව මාර්ග බාධකයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හතලිස් දෙකක (542) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට ලද තොරතුරකට අනුව පුත්තලම විජයකටුපොත, 61 කණුව මාර්ග බාධකයේදී, 2025 දෙසැම්බර් මස 09 වැනි දින සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හතලිස් දෙකක (542) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම කැබ් රථය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 24ක් වන පුත්තලම එත්තාලේ සහ පාලවි යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.





