නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 06 සිට 15 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් තිස්හයක් (36) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, කන්දක්කුලිය මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි වයඹ නාවික විධානය සහ ගාල්ල බලපිටිය හා අකුරළ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි දකුණු නාවික විධානය විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, උතුරු නාවික විධානය මඟින් යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් තිස්හයක් (36) සමඟ එක් සැකකරුවෙකු (01) 2025 දෙසැම්බර් මස 12 වැනි දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ගාල්ල වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු කාර්යාලය සහ යාපනය ධිවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.











