දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් තලෛමන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද අළුයම් කාලයේ (2025 දෙසැම්බර් 23) තලෛමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එමඟින් මෙරට සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම හා දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් වූ සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම, ස්ථිර කැපවීමද අවධාරණය කෙරේ.

ඒ අනුව, අද (2025 දෙසැම්බර් 23) අළුයම් කාලයේ, තලෛමන්නාරමට උතුරු දෙසින් වූ දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.