දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් 01 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 ජනවාරි මස 12 දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2026 ජනවාරි මස 12 දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
තවද, ගෙවීගිය 2025 වර්ෂයේදී නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සිදුකල මෙහෙයුම් මඟින් දේශීය ජල තීරය තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතරක් (44) සහ ඉනදීය ධීවරයින් තුන්සිය හතලිස් හය දෙනෙකු (346) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, මෙරට සමුද්‍රීය පරිසරය සුරැකීම වෙනුවෙන් සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සිදුකරණු ලබයි.



