නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලීසිය හා එක්ව, කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ තොගයක් සමඟ එම කැබ් රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.