නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 ක් කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 19 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් එකසිය අටක (1108) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා හතරක් (04) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් එකසිය අටක (1108) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 29 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලිමුනේ, තොට්ටවේලි, සවුද්බාර් සහ එළුතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.