හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ගෙවී ගිය 2025 වසරේ විෂ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට දායක වු නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා පොලීසිය හා නාවික හමුදාව එක්ව තොරතුරු හුවමාරු කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, නාවික හමුදාවේ දිගුදුර ආවේක්‍ෂණ නෞකා යොදා ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) ද, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ සන්නිවේදන උපකරණ ද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රා, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දාහතරක් (14) සහ සැකකරුවන් අද උදෑසන (2026 ජනවාරි 25) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම යාත්‍රා තුල තිබු උර දාහතරෙහි (14) හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය අසූ හතරකට (184) අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දොලහකට (112) අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, වත්මන් රජය රට ගොඩනැගීම සඳහා නියමු ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවත්, එහි ප්‍රධාන ව්‍යපෘතියක් ලෙස ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සෘජු අධීක්‍ෂණයෙන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියළුම බුද්ධි අංශ සැලැස්මක් සහිතව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව, පුළුල්ව සහ තීව්‍ර ලෙස දියත් කර ඇති බවත්, රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරනය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, රටේ ඇතිවූ ජාතික ආපදා තත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රනය සහ සමස්ත ජනතාව රට ගොඩ නැගීම සඳහා කැපවී සිටියදී වුවද, ජාතික ආරක්‍ෂාවට සහ මහජනතාවගේ ආරක්‍ෂාවට විශාල බලපැමක් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නොතබන බවත්, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් සහ ඊට අනුබල දෙන්නන් හට කිසිදු ගැලවීමක් නොමැති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ වගකීම ඉටු කිරීමට ත්‍රිවිද හමුදා සහ පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන කැපවී සිටින බවත් පවසන ලදි.
ත්‍රිවිද හමුදාව හා පොලීසිය, පොලිස් විශේෂකාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන දේශීය ආයතන සමඟ මෙන්ම, ජාත්‍යන්තර ආයතන හා එක්ව මනා සම්බන්ධීකරණයෙන් සහ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් ගෙවීගිය 2025 වර්ෂයේදී ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදුකර අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදුකරනු ලැබූ බවත්, එම සහයෝගීත්වය හා කැපවීම 2026 වර්ෂයේදීද පෙන්නුම් කරමින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවු බවත් පැවසූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, ඒ සඳහා දායකවූ නාවික හමුදාධිපති, පොලිස්පති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, නාවික හමුදා දිගුදුර මෙහෙයුම් නෞකා කාර්ය මණ්ඩල ඇතුළු සියළුම දෙනා වෙත ගරු ජනාධිපති තුමා වෙනුවෙන් ප්‍රනාමය පල කරන බවත් පවසන ලදි.
රටේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධවීම, පාතාල ගැටුම් සහ සමාජ අපරාධ මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය රටේ ප්‍රධාන ව්‍යසනයක් බවට පත්වී ඇති බවත්, එය පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පමණක් නොව සමාජයේ සියළුම පාර්ශවයන් එක්විය යුතු බවත් පවසන ලදි. රජයේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දිවයිනම ආවරනය වන පරිදි තිව්‍ර කර තිබෙන බැවින්, කිසිදු ලෙසකින් මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මඟින් රටතුලට රැගෙන ඒමට කිසිදු හැකියාවක් නොමැති බැවින්, ජාවාරම්කරුවන්, වෙළෙන්දන් සහ බෙදාහරින්නන් හට ජාවාරමෙන් ‘ඉවත්වෙනු’ කියා අවධාරනය කළ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හටත් මේ විනාශකාරි පුරුද්දෙන් මිදෙන ලෙස අවධාරණය කෙරිණි.
එමෙන්ම, නිතීය ක්‍රියාත්මක කරන ආයතන වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු 1818 සහ 1997 යන ක්‍ෂණික දුරකථන අංක වෙත ලබා දෙන ලෙස මහජනතාව වෙතින් ඉල්ලා සිටි ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ගේ කාර්යය භාරය ඇගයීමද, එහිදී සිදුකෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක (02), හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය අසූ හතරකට (184) අධික තොගය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දොලහකට (112) අධික තොගය සමඟ සැකකරුවන් එකොලොස් දෙනා (11) සහ සන්නිවේදන උපකරණ ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




















