නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති 744500 ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 පෙබරවාරි මස 02 වැනි දින වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් රැගත් ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල සහ ගැමුණු ආයතන, වත්තල පොලිස් ස්ථානය හා එක්ව වත්තල ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ලොරි රථයක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ‍ලොරි රථයේ තිබී, නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28ක් සහ 32ක් වන කල්පිටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඖෂධ පෙති තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.