විදේශීය දුම්වැටි 9000ක තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි නව දහසක (9000) පමණ තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගනිමින් ත්‍රී රෝද රථයක් මඟින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු (01) 2026 පෙබරවාරි මස 17 වැනි දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ත්‍රී රෝද රථයක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය දුම්වැටි නව දහසක‍ (9000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ත්‍රී රෝද රථය මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතමය කටයුතු සඳහා වත්තල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.