නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 10 ක් කිලිනොච්චි ඉරණතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 23 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් දෙසීය තිස් දෙකක් (1232), ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි ඉරණතිව් ප්‍රදේශයට ඔබ්බෙන්වු බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් දෙසීය තිස් දෙකක් (1232), ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 29ත් 54 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලමුනේ ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.