දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගාතුරව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 පෙබරවාරි 24) උදෑසන කටයුතු කෙරිණි.

ගාල්ල ධීවර වරායෙන් 2026 පෙබරවාරි මස 12 වැනි දින ධීවරයින් පස් දෙනෙකු (05) රැගත් ‘DEETH PUTHA - 01’ (IMUL-A-0781 GLE) නැමති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, නාවික සැතපුම් එකසිය හැත්තෑ අටක් (178) දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි එහි සිටි එක් ධීවරයෙකු (01) රෝගාතුරව අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම්දීමකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දුරකථන මඟින් රෝගියාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් (Tele Therapy) ලබා දී, රෝගියා ආසන්නතම ධීවර වරායක් වෙත රැගෙන ඒමට දැනුම් දීමට කටයුතු කල අතර, රෝගියා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු මුහුදේ ආවේක්ෂණ කටයුතු සිදුකරමින් සිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි.

ඒ අනුව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා 2026 පෙබරවාරි මස 23 වැනි දින රාත්‍රියේ ‘DEETH PUTHA - 01’ බහුදින යාත්‍රාව වෙතින් ගජබාහු නෞකාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ගොඩබිම ආසන්නයට රැගෙන ආ අතර, රෝගියා ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා යාත්‍රාවක් වෙත අද (2026 පෙබරවාරි 24) උදෑසන ලබා ගැනීමෙන් පසුව, කඩිනමින් ගාල්ල වරායට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට මෙලෙස නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.