නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 685ක් සමඟ සැකකරුවෙක් කල්පිටිය මොහොත්තුවාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 23 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් හයසිය අසූපහක් (685), එක් සැකකරුවෙක් (01) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් හයසිය අසූපහක් (685), එක් සැකකරුවෙක් (01) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු අවුරුදු 34ක් වන කල්පිටිය ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු, වියලි මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.