නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් මන්නාරම සවුත්බාර් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 04 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය තිස් හතක් (437), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම සවුත්බාර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය තිස් හතක් (437), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 32 ත් 48 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.