රුපියල් මිලියන 73 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා කිලෝ ග්‍රෑම් 368ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය සුරුවිල් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කයිට්ස් පොලීසිය හා එක්ව 2026 මාර්තු මස 04 වැනි දින යාපනය කයිට්ස් දූපතේ සුරුවිල් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් තුන්සිය හැට අටක (368) පමණ තොගයක් සමඟ, යාත්‍රාවක් (01) සහ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා කංචදේව ආයතනය, කයිට්ස් පොලිස් ස්ථානය හා එක්ව 2026 මාර්තු මස 04 වැනි දින යාපනය කයිට්ස් දූපතේ සුරුවිල් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම යාත්‍රාව තුල පාර්සල් එකසිය හැත්තෑ පහක (175) අසුරා තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් තුන්සිය හැට අටක (368) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් විදේශීය කංසා කිලෝ ග්‍රෑම් තුන්සිය හැට අටක (368) පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හැත්තෑ තුනකට (73) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන යාපනය කයිට්ස් දූපතේ වේලනි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, විදේශීය කංසා තොගය සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.