නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහකල වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1,146ක් සමඟ සැකකරුවන් 07ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම් සහ කීරිමුන්දලම මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි 2026 මාර්තු මස 05 සහ 06 දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කල වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතලිස් හයක් (1,146) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හතක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුණේ නාවික අණුඛන්ඩය මඟින්, කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 05 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් හාරසිය දහ අටක (418) පමණ තොගයක් රැගත් එම ඩිංගි යාත්‍රාව (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2026 මාර්තු මස 06 වැනි දින උච්චමුණේ නාවික අණුඛන්ඩය මඟින් කල්පිටිය කීරමුන්දලම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කිරීමේදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් හත්සිය විසි අටක (728) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 51ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, මාර්තු මස 05 වැනි දින නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ වියලි මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙතත්, මාර්තු මස 06 වැනි දින නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ වියලි මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.