මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133කට අධික තොගයක් නාවික හමුදා භාරයට

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වයන් හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇත. ඒ යටතේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහුදින ධීවර යාත්‍රාව, අද (2026 මාර්තු 16) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, බහුදින ධීවර යාත්‍රාවේ තිබූ උර තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය තිස්තුනකට (133) අධික තොගයක් ඇති බවට තහවුරු විය.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එහිදී අදහස් දැක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය තුමන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ දැක්ම යතාර්ථයක් කරගැනීම වෙනුවෙන් නාවික හමුදාව ප්‍රමුඛ ත්‍රිවිද හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුව, පොලීසිය, පොලිස් මත්‍ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන විශාල කාර්යය භාරයක් සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම හා බැඳුණු අපරාධ ජාලය මැඩපැවැත්වීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීමේ ප්‍රථිඵලයක් වශයෙන් නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සහ අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට සමඟාමිව නීති විරෝධී ගිණි අවි මඟින් ජන ජීවිතයට සහ රටේ ස්ථාවර භාවයට සිදුවන බලපෑම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ගේ සාර්ථකත්වයත් මෙවැනි සාර්ථක මෙහෙයුම් මඟින් තහවුරුවන බවත් පවසන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, නාවික හමුදාව ඉතාමත්ම සූක්ෂම ලෙස ක්‍රියාන්විත සැලසුම් කර, මුහුදේ ආවේක්‍ෂණ කටයුතු සමඟ තොරතුරු විශ්ලේෂණය කරමින් අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් මනාව සැලසුම් කර සිදුකරන මෙහෙයුම් මඟින් මෙවැනි සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීමට හැකිවී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ ජාලයට කිසිදු ඉඩක් නොතබන බවත් ඒ සඳහා ආරක්‍ෂක අංශ වෙත වගවීමක් පවතින බවත්, මහජන ආරක්‍ෂාව වෙනුවෙන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීම වෙනුවෙන් අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂි දායකත්වය සම්බන්ධයෙන්, ගරු ජනාධිපති තුමා වෙනුවෙන් ගෞරවය හා ප්‍රණාමය පල කරන බවත් පවසන ලදි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ දායකත්වයක් දක්වන බව පැවසූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, 2025 වර්ෂයේදී නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 75 කට අධික දල වීථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය විශාල තොගයක් සහ 2026 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 20කට අධික දල වීථි වටිනාකමකින් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසන ලදි.

වර්තමානයේ පවත්නා ලෝක වාතාවරණය හමුවේ ධීවර කටයුතු මුවාවෙන් ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය රට තුලට රැගෙන ඒමට විවිධ උපක්‍රම අනුගමනය කරනු ලබන බව පැවසූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, රටේ ප්‍රධාන ව්‍යසනයක් බවට පත්වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත පමණක් නොව සමාජයේ සියළුම පාර්ශවයන් වෙත විශේෂ වගකීමක් පවතින බවත්, ධීවර ප්‍රජාවට ඒ සඳහා අනුබල දීමෙන් වලකින ලෙසත් අවධාරනය කරමින්, කිසිදු ලෙසකින් මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මඟින් රටතුලට රැගෙන ඒමට හැකියාවක් නොමැති බැවින්, ජාවාරම්කරුවන්, ‍වෙළෙන්දන් සහ බෙදාහරින්නන් හට ජාවාරමෙන් ‘ඉවත්වෙනු’ කියා අවධාරනය කළ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හටත් මේ විනාශකාරි පුරුද්දෙන් මිදෙන ලෙස වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය වැරදි සඳහා දැඩි දඩුවම් දීමට නීති සංශෝධන සිදුකරන බවත්, නිතීය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු 1818 සහ 1997 යන ක්‍ෂණික දුරකථන අංක වෙත ලබා දෙන ලෙස මහජනතාව වෙතින් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ගේ කාර්යය භාරය ඇගයීමද, එහිදී ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් සිදුකෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව (01), කිලෝග්‍රෑම් එක්සිය තිස්තුනකට (133) අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ සන්නිවේදන උපකරණ සමඟ සැකකරුවන් පස් දෙනා (05) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.