රුපියල් මිලියන 15කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ විදේශීය කංසා කිලෝ හැත්තෑ අටයි (78) ග්රෑම් තුන්සියයක (300) පමණ තොගයක් 2026 මාර්තු මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත ක්ෂණික ක්රියාකාරී යාත්රා බලඝණ කණ්ඩායමක් යොදවා කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු පාර්සල් අටක් (08) නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ අසුරා තිබූ විදේශීය කංසා කිලෝ හැත්තෑ අටයි (78) ග්රෑම් තුන්සියයක (300) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 15කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




