ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 255 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, අනෙකුත් සන්නද්ධ හමුදා ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇත. ඒ යටතේ බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ සිදුකල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර දහයක් (10) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහුදින ධීවර යාත්‍රාව, 2026 මාර්තු මස 16 වැනි දින සන්ද්‍යාවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ උර 10 තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීය පනස්පහකට (255) අධික තොගයක් ඇති බවට තහවුරු විය.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සහභාගී වූ අතර, එහිදී අදහස් දැක්වූ බටහිර නාවික විධානය භාර ආඥාපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත නාවික හමුදාධිපති ගේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වූ සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි මනාව සැලසුම් කරන ලද නාවික මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත්, ඊට සමඟාමීව රජය විසින් ගෙන යනු ලබන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන්ද තීව්‍ර නාවික මෙහෙයුම් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි සිදු කරනු ලබන බවත් පවසන ලදි.

ඒ අනුව, මෙම වර්ෂය තුල ඉතා සාර්ථක නාවික මෙහෙයුම් ගණනාවක් මඟින් , රට තුලට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගනු ලැබු බවත්, 16 දින පමණක් එවැනි යාත්‍රා ‍02ක් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ආ බවත් ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ නීතිමය භාවිතය තහවුරු කිරීම සඳහා සහ විශේෂයෙන් ජාතික ආරක්‍ෂාව හා මහජන ආරක්‍ෂාව සහතික කර, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීමේ රජයේ දැක්මට අනුව, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර තිබෙන බව ප්‍රකාශ කළ ඔහු, 2026 වර්ෂයේ ගෙවී ගිය මාස 03ක කාලය තුල සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 20කට අධික දල වීථි වටිනාකමකින් විෂ මත්ද්‍රව්‍ය සහ එම මත්ද්‍රව්‍ය විශාල තොග රැගෙන ආ යාත්‍රා 07ක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව දායකවී ඇති බව පවසන ලදී.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රජයේ ප්‍රථිපත්තිය හා පැහැදිලි දැක්ම යටතේ, නාවික හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම මත, සන්නද්ධ හමුදා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු සියළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව සිදුකරන බවත්, රට තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ජාවාරම් කරුවන් විසින් දරන්නාවු ඕනෑම ආකාරයක ප්‍රයත්නයක් ව්‍යර්ථ කිරීම සඳහා සියළු සමුද්‍රීය කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බව පැවසූ ඔහු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හට සහය දීමෙන් වලකින ලෙස ධීවර ප්‍රජාව වෙතින් විශේෂයෙන් ඉල්ලා සිටින ලදි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව (01), කිලෝග්‍රෑම් දෙසීය පනස්පහකට (255) අධික කොකේන් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් හය දෙනා (06) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.