නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 53ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මාර්තු මස 03 සිට 18 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් පනස් තුන් දෙනෙකු (53) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ ට්‍රැක්ටර් රථ හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මන්නාරම වෙඩිතලතිව්, සවුත්බාර්, වන්කාලෙයි, පුත්තලම උඩප්පුව, උදයුර්පුති, වාකරේ කන්ඩලඩි, කළුවන්කේනී, පල්චේනයි, සවුක්කඩි, යාපනය මන්ඩතිව්, ත්‍රීකුණාමලය කින්නියා, කොකිලායි සහ ගාල්ල අකුරළ වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකණු නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් මෙලෙස පුද්ගලයන් පනස් තුන් දෙනෙකු (53) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම, පුත්තලම, වාලච්චේනයි, මඩකලපුව, මන්ඩතිව්, නානට්ටාන්, කින්නියා හා මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ ගාල්ල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.