නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් මන්නාරම පාලකමුනයි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පාලකමුනයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 20 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතරක් (304), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය මඟින්, මන්නාරම පාලකමුනයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතරක් (304), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 43 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




