හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323 කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් වලට සමඟාමීව ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන්ද තීව්‍ර නාවික මෙහෙයුම් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි සිදුකරනු ලබයි. ඒ යටතේ, ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර දහනවයක් (19) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙසේ නාවික හමුදා භාරයට ගත් දේශීය බහුදින ධීවර යාත්‍රාව, 2026 අප්‍රේල් මස 01 වැනි දින උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙතට බාර දී‍මෙන් අනතුරුව එම කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, බහුදින ධීවර යාත්‍රාවේ තිබූ උර දහනවයක් (19) තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්සිය විසිතුනකට (323) අධික තොගයක් ඇති බවට තහවුරු විය.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සහභාගී වූ අතර, එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වූ සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි මනාව සැලසුම් කරන ලද නාවික මෙහෙයුම් මගින් ජාතික ආරක්ෂාව කහවුරු කිරීමට සමගාමීව ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය ව්‍යවසනය එරෙහිව ත්‍රිව්‍ර නාවික මෙහෙයුම්ද සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට පවසන ලදි.

ඒ අනුව, මෙම වර්ෂයේදි නාවික හමුදාව විසින් මුහුදු කලාප ආවරණය වන පරිදි සිදු කරන ලද ආවේක්‍ෂණ රාජකාරීන් තුලින් තහනම් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනු එනු ලැබු දේශීය බහුදින ධීවර යාත්‍රා නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කල බවත්, එමගින් රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමටද හැකි වු බවත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතට ලැබුනු විදේශීය බුද්ධි තොරතුරකට අනුව පසු ගිය දින කිහිපය තුල බේරුවල මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදි සිදු කල අඛණ්ඩව ආවේක්‍ෂණ රාජකාරින්හි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේදී ද (2026 අප්‍රේල් 01) මෙලෙස දේශිය බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ හමුවට ඉදිරිපත් කිරිමට හැකි වු බව ප්‍රකාශ කරන ලදි.

තවද, මෙම බහුදින ධීවර යාත්‍රාවේ තිබී තහනම් මත්ද්‍රව්‍ය යැයි සැකකෙරන පාර්සල් 298ක් තුල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුන්සිය විසිතුනකට (323) අධික ප්‍රමාණයක් තිබුනු බවට මූලික පරික්‍ෂණ වලදී තහවුරු වු බවත්, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වු ධීවරයින් හය දෙනා (06) ඔවුන්ගේ සංනිවේදන කටයුතු සදහා භාවිතාකල සන්නිවේදන උපකරණ සමග නීතියේ හමුවට ඉදිරිපත් කරනු ලබන බවත් දන්වා සිටින ලදි. විශේෂයෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟ පෙනවීම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කරනු ලබන මෙහෙයුම් තුළින් රටේ නීතිය සාමය ස්ථාපිත කිරීමට මහගු උපකාරයක් වන බවත්, එමගින් රටේ අනාගත දරු පරපුර මෙම මත්ද්‍රව්‍ය ව්‍යවසනයෙන් මුදවා ගැනීමට හැකිවන බවත් ප්‍රකාශ කර සිටින ලදි. එමෙන්ම, මෙම වසරේදි පමණක් දේශිය බහුදින ධීවර යාත්‍රා 07ක් නීතියේ රැහැනට යොමු කර ඇති බව හා එහි තිබු මත්ද්‍රව්‍ය වල වීථි වටිනාකම රුපියල් බිලියන 40ක් පමණ වන බවත් තවදුරටත් ප්‍රකාශ කරන ලදි.

තවද, ඉදිරියටත් මත්දව්‍ය උවදුර අවම කිරිම සදහා දවසේ පැය 24 පුරාම ඉතාමත් සැළසුම් සහගතව නාවික මෙහෙයුම් තවදුරටත් සිදු කරන බවට ප්‍රකාශ කරන ලදි. එමෙන්ම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වෙළදාම, ඇනවුම් කිරීම වැනි කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් හට එම ක්‍රියාවලියෙන් ඉවත් වෙන ලෙසටත් දන්වා සිටි අතර එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව තොරතුරු ක්‍ෂණික දුරකථන අංක වන 1818 හෝ 1997 ඹස්සේ දැනුවත් කරන ලෙසටද දන්වා සිටින ලදි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව (01), කිලෝග්‍රෑම් තුන්සිය විසිතුනකට (323) අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් හය දෙනා (06) වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.