නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907 පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 06 හා 07 යන දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් සැකකටයුතු ලෙස උරවල අසුරා සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් ආලන්කුඩා අනුඛණ්ඩය මඟින් කල්පිටිය, බංගලවත්ත වෙරළ ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් 06 වන දින රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු උර දෙකක් (02) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ අසුරා සඟවා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් අසුවකට (80) ආසන්න තොගයක් නාවික හමුදාව භාරයට ගන්නා ලදී.
තවද, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා කල්පිටිය පොලීසිය එක්ව කල්පිටිය, සේතවාදී වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් 07 වන දින සවස සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු උර දහසයක් (16) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, එම උර තුළ අසුරා සඟවා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් අටසිය විසි හතකට (827) ආසන්න තොගයක් නාවික හමුදාව භාරයට ගන්නා ලදී
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය සහ කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




