නාවික හමුදාව අනතුරකට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වු මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය යටතේ නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 26 වැනි දින කටයුතු කරන ලදී.
ධීවරයින් හයදෙනෙකු සමඟ, ‘ලක්ෂිත 5’ (IMUL-A-2217 TLE) නැමති බහුදින ධීවර යාත්‍රාව කුඩාවැල්ල ධීවර වරායෙන් පිටව ගොස්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් නාවික සැතපුම් හැත්තෑපහක පමණ (75) දුරින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, සිදුවූ හදීසි අනතුරක් මත ඇති වූ කැපුම් තුවාල හේතුවෙන් එහි සිටි ධීවරයෙකු ආබාධිත තත්වයකට ලක්ව ඇත.
ඒ අනුව, එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි.
පසුව, ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දෙමින්, ඔහු කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා 2026 අප්‍රේල් මස 26 වැනි දින ත්‍රිකුණාමලය මහ රෝහල වෙතට යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.
තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.


