බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් මස 28 වැනි දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහසකට (2000) අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) හා එම තොගය මෙරටට රැගෙන ඒමට සූදානම්කර තිබූ බවට සැක කෙරෙන, මෙරට ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මඟින් හලාවතට ඔබ්බෙන් වූ, මෙරට මුහුදු සීමාව තුළ ක්‍රියාත්මක කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස යාත්‍රා කරමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ සැකකටයුතු දේශීය ඩිංගි යාත්‍රා තුනක් (03) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, ඉන්දීය ධීවර යාත්‍රාව වෙතින් මෙරට ඩිංගි යාත්‍රා වෙත හුවමාරු කිරීමට උත්සාහ කරමින් තිබූ සැකකටයුතු උර පනස් හතරක් (54) පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර, එම උර තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහසකට (2000) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කොට ඇත.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන් වයස අවුරුදු 18ත් 50ත් අතර වන අතර, ශ්‍රී ලාංකික සැකකරුවන් වයස අවුරුදු 21ත් 42ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, නාවික භාරයට ගත් එම සැකකරුවන්, යාත්‍රා සහ බීඩි කොළ තොගය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.