නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 32ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; සංරක්‍ෂිත මසුන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් දෙනෙකු (30), ධීවර යාත්‍රා දහතුනක් (13), ට්‍රැක්ටර් රථයක් (01), ලොරි රථයක් (01) හා තහනම් ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය මාබල් පොයින්ට්, සල්පෙආරු, කින්නියා, උප්පුරාල්, කල්ලරාව, වට්ටවාන්, පනිචන්කේනි, පූනාඩි, උලක්කාලී, නයාරු, මඩකලපුව, යාපනය කඩ්ඩයිකාඩු, කල්පිටිය ඉප්පන්තිව් වෙරළ, කලපු හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර, වයඹ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් දෙනෙකු (30), ධීවර යාත්‍රා දහතුනක් (13), ට්‍රැක්ටර් රථයක් (01) සහ තහනම් ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තවද, නැගෙනහිර නාවික විධානය මඟින් කින්නියා පොලීසිය හා එක්ව කින්නියා නගරය ආශ්‍රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ, කස මෝරා මසුන් කිලෝ ග්‍රෑම් දෙසිය දහනවයකට (219) අධික තොගයක්, තඹුවා මසුන් කිලෝ ග්‍රෑම් හයකට (06) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, තහනම් ධීවර ආම්පන්න, ධීවර යාත්‍රා සහ ට්‍රැක්ටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කොඩ්බේ, ඊච්චලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, කින්නියා, වාලච්චේනයි, මඩකලපුව, පුත්තලම, යාපනය යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙතද, සංරක්‍ෂිත මසුන් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ලොරි රථය කින්නියා පොලිස් ස්ථානය වෙතද භාරදීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් නීති විරෝධී ධීවර කටයුතු වැළක්වීමත්, සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීමත් අරමුණු කරගනිමින් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිරන්තරයෙන් සුදානමින් සිටි.