විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ 2026 මැයි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය තලවිල වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු උර විසිඅටක් (28) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම උර තුල තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය අනුහයක (496) පමණ තොගයක් (තෙත බර සහිත), විදේශීය දුම්වැටි පැකට්ටු හයදාහක් (6000), රූපලාවන්‍ය ආලේපන සහිත ඇසුරුම් එක්දහස් නවසිය පනස් අටක් (1958), කෘමිනාෂක දියර සහිත බෝතල් එක්දහස් එකසිය හතලිස් හයක් (1146) සහ පැකට්ටු පහලොස් දහස් එකසිය අසූවක් (15180) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති මුහුදු තීරය ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.










