‘Commandant’s Cup Sailing Regatta - 2026’ ත්‍රීකුණාමලය ඩච් බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2026’ රුවල් යාත්‍රා තරඟාවලිය, දේශීය හා විදේශීය පුහුණුව ලබන නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය ඩච් බේ මුහුදු තීරයේදී ආරම්භ විය. ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, මෙන්ම විදේශීය මිත්‍ර රාජ්‍යයන්හි නාවික හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම මෙම රුවල් යාත්‍රා තරඟාවලියේ ප්‍රධාන අරමුණු වේ.
තරඟාවලියේ සමාරම්භය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු නලින්ද දිසානායකගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා මෙවර ඉතාලිය, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක (06) නාවික හමුදා විද්‍යාපීඨ නියෝජනය කරමින්, පුහුණුවන නිලධාරින් සහභාගී වේ.
තවද, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය, Cup Championship සහ Open Championship යන කාණ්ඩ යටතේ 2026 අගෝස්තු මස 19 සිට 22 දක්වා පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කිරිම මඟින්, ක්‍රීඩාව තුලින් විදේශීය සබඳතා ශක්තිමත් කිරීමට සමඟාමීව, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා සංචාරක ආකර්ෂණය දිනා ගැනීමද, නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.
එමෙන්ම, මෙම වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් පැවැත්වෙන අතර, සිරස TV මාධ්‍ය ජාලය හවුල්කරුවෙකු ලෙස එක්වෙමින් මාධ්‍ය ආවරණය ලබාදෙයි.













