EVENT NEWS 2026

ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙයි

30 Aug 2026

ඉන්දීය නාවික හමුදා‍වේ ආරාධනයකට අනුව, ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය සම්බන්ධයෙන් පැවති උපාය මාර්ගික මට්ටමේ නිල හමුවීම් සහ සාකච්ඡා සඳහා සහභාගි වීමෙන් අනතුරුව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2026 අගෝස්තු 30) දිවයිනට පැමිණෙන ලදි.

ඒ අනුව, 2026 අගෝස්තු මස 27 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවර සවුත් බ්ලොක් පරිශ්‍රයේ පිහිටි ඉන්දීය නාවික හමුදා මූලස්ථානයට පිවිසි ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වෙත, විදෙස් නාවික හමුදාධිපතිවරයෙකු වෙත පිරිනැමෙන ඉහලම නාවික හමුදා සම්ප්‍රදායානුකූල ගෞරව සහිත සම්මාන ආචාර මුරයක් මඟින් ආචාර පිරිනමා ඉන්දීය නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් අතර නිල හමුවක් සිදුකෙරිණි. එහිදී, ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් දෙරටේ නාවික හමුදා අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පුළුල් කිරීම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව දෙපාර්ශ්වය අතර උපාය මාර්ගික මට්ටමේ අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.

මෙම නිල සංචාරයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එන්එස් රාජා සුබ්‍රමනි ( General N.S. Raja Subramani), ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං මහතා සහ ඉන්දීය ගුවන් හමුදා උප ප්‍රධානී එයාර් මාර්ෂල් අසුතෝෂ් ඩික්සිත් (Air Marshal Ashutosh Dixit) සමඟ නිල හමුවන් සඳහා සහ ඉන්දීය ආරක්‍ෂක නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සහභාගි වූ අතර, දෙරටේ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා සැලැස්ම, එකාබද්ධ පුහුණු වැඩසටහන් මෙන්ම, ඉන්දීය සාගර කලාපයේ ගුවන් සහ සමුද්‍රීය සහයෝගිතාව යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම, දෙරටේ නාවික හමුදා පුහුණු හා සංවර්ධන ක්‍ෂේත්‍රයෙහි සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝචි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධාන මූලස්ථානයේ දී, ඉන්දීය දකුණු නාවික විධානයට අණදෙන ධජ නිලධාරි, වයිස් අද්මිරාල් සමීර් සක්සේනා (Vice Admiral Sameer Saxena) සමඟ නිල හමුවක් පැවති අතර, දෙරටේ නාවික හමුදා අතර පවත්නා පුහුණු හුවමාරු වැඩසටහන් සහ නව පුහුණු අවස්ථා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ පාඨමාලාව හැදෑරු ඉන්දීය නාවික හමුදාවේ INS Dronacharya පුහුණු පාසලෙහි සිදුකෙරුණු නිරීක්‍ෂණ සංචාරයෙන් අනතුරුව, නාවික හමුදාධිපතිගේ තෙදින (03) ඉන්දීය නිල සංචාරය මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.

තවද, ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන ප්‍රමුඛ පාර්ශ්වකරුවන් ලෙස, දෙරටේ නාවික හමුදා අතර සිදුකෙරෙන මෙවැනි නිල සංචාර මඟින් ගොඩනැගෙන මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ වැඩිදියුණු වන සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවය තුලින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ධාරිතා වර්ධනය සහ පුහුණු අවස්ථා පුළුල්වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇති අතර, එමඟින් ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටද විශේෂ දායකත්වයක් ගෙනදෙනු ඇත.

Accessibility Tools