EVENT NEWS 2026

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවට හා නාවික හමුදාවට කීර්තිය ගෙන දුන් නාවික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට

05 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 2024, 2025 සහ 2026 වර්ෂවලදී විදේශීය ක්‍රීඩා තරඟාවලිහීදි, විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවට සහ නාවික හමුදාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් නාවික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ හා ඔවුන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් අද (05) ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී, 2024 වසරේ ඉන්දියාවේ පැවති 13 වන ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය නැවි (කාන්තා) කේඑස්එම් පෙරේරා ඇගයීමට ලක් කෙරිණි.

එමෙන්ම, කොරියාවේ පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මෙන්ම ඉන්දියාවේ පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී, මීටර් 400 සහ 4×400 සහාය දිවීමේ ඉසව්වල පදක්කම් රැසක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් සාමාන්‍ය නැවි (කාන්තා) බීඑස්එල් මෙන්ඩිස් ද මෙහිදී ඇගයීමට ලක්විය. තවද, දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ යගුලිය විසි කිරීමේ ඉසව්වේ තෙවන ස්ථානය හිමිකරගත් සාමාන්‍ය නැවි (කාන්තා) ඕටී චන්ද්‍රසේකර ද ඇගයීමට ලක්වූවාය.

2025 වසරේ මාලදිවයිනේ පැවති පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ වෙරළ හැන්ඩ්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරි පීසී චන්ද්‍රදාස, සුළු නිලධාරි ඩබ්ලිව්එච්පී ද සිල්වා, නායක නැවි කේඑම්ආර්එස් බණ්ඩාර, නායක නැවි එච්ඒඩී හෙට්ටිගොඩ සහ නායක නැවි එච්එම්ඩීඑස් රත්නායක යන නාවිකයින් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

2026 වසරේ චීනයේ පැවති 6 වන ආසියානු වෙරළ කබඩි ශූරතාවලියේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ නායක නැවි (කාන්තා) ඒපීඑම් හන්සමාලි සහ බල නැවි (කාන්තා) ආර් ප්‍රියවර්ණා ද මුදල් ත්‍යාග හා ඇගයීම් සහතික ලබා ගත්හ.

තවද, ත්‍යාගලාභීන් ඇගයීමෙන් පසු අදහස් දැක්වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවේ ධජය ගෞරවයෙන් ඔසවා තබමින් නාවික හමුදාවට ද අභිමානයක් එක් කළ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම හා ජයග්‍රහණ අගය කළ අතර, ඉදිරියේදී ද ජාතික හා ජාත්‍යන්තර තලයේ තවත් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගනිමින් රටටත් නාවික හමුදාවටත් කීර්තියක් ගෙන එන ලෙස ඔවුන් දිරිමත් කළේය.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ඉන්දික ගුණවර්ධන, අධ්‍යක්ෂ ක්‍රීඩා කොමදෝරු ඉන්දික එදිරිසිංහ, ක්‍රීඩා සංචිත භාර සභාපතිවරුන්, ප්‍රධාන පුහුණුකරුවන් සහ නාවික හමුදා සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

Accessibility Tools