සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ CARAT– 2026 නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය (U.S. Pacific Fleet) විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සංවිධානය කරන ලද සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳ ද්වීපාර්ශ්වික අභ්‍යාසය Cooperation Afloat Readiness and Training Exercise (CARAT– 2026) 2026 ජූලි 27 සිට 30 දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය අද දින (2026 ජූලි 31) සාර්ථකව පැවැත්විණි.
සාම්පූර් මැරීන් බලකා මූලස්ථාන පරිශ්‍රයේ පැවති CARAT– 2026 අභ්‍යාසයේ සමාප්ති උත්සවය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් (Lieutenant Colonel Matthew House) සහ වැඩබලන ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ධනේෂ් පත්බේරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙම ද්වීපාර්ශ්වික අභ්‍යාසය මඟින්; දේශසීමා අභිබවා පවතින සමුද්‍රීය තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, ස්වභාවික ආපදා අවස්ථාවලදී කාර්යක්ෂම ප්‍රතිචාර දැක්වීම සහ ගෝලීය වෙළඳාමට අත්‍යවශ්‍ය ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගීතාව හා ප්‍රායෝගික කුසලතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා විය.
එමෙන්ම, මෙවැනි අභ්‍යාසයන් තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම, කුසලතා සහ අත්දැකීම් මඟින් ද්විපාර්ශ්වීය සහයෝගීතාව හා අන්තර්ක්‍රියාකාරිත්වය තවදුරටත් වර්ධනය වන අතර, ඉදිරියේදී සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු පොදු සමුද්‍රීය අභියෝගවලට සාමූහිකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාව ශක්තිමත් කිරීමට ද මහඟු පිටුවහලක් වනු ඇත.
CARAT–2026 සමාප්ති උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.













