EVENT NEWS 2026

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2026’ හිදී නෞකා බලඇණිය වෙතින් නැව්පති වෙත ආචාරය පුද කරයි

25 Jul 2026

නැගෙනහිර මුහුදු තීරයේ පැවැත්වෙන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2026’ (TRINEX-26) හි මුහුදු අදියර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අද දින (2026 ජූලි 24) ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිට අධීක්ෂණය කරන ලදී.

අභ්‍යාසයේදී ක්‍රියාත්මක කෙරෙන විවිධ සමුද්‍රීය මෙහෙයුම්, ඒකාබද්ධ යුධ පුහුණු ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් සූදානම පිළිබඳව නාවික හමුදාධිපති සෘජුව නිරීක්ෂණය කළ අතර, එම අභ්‍යාසයේ නිරත සියලු නාවික පුද්ගලයින්ගේ වෘත්තීය ප්‍රවීණතාව ඇගයීමට ලක් කෙරිණි.

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2026’ (TRINEX-26) හි මුහුදු අදියර අවසන් දිනය වන අද දින (2026 ජූලි 25) නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), නෞකා දෙකක් අතර භාණ්ඩ හුවමාරුව (RAS), මුහුදේදී නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස/ මුහුදේදී ගුවනින් නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS/ HVBSS), නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස සිදුකිරීමෙන් අනතුරුව, නෞකා බලඇණිය මඟින් නැව්පති වෙත පිරිනැමෙන සාම්ප්‍රදායික ආචාරය (Steam Past) පුද කිරීම මෙහිදී සිදුකෙරිණි.

මෙම අභ්‍යාස සඳහා නාවික හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු, සමුද්‍රවිජය, සිඳුරළ, සාගර, සමුදුර, නන්දිමිත්‍ර, ශක්ති, එඩිතර II, රණරිසි, වික්‍රම II නෞකා, පී 4443, පී 439, පී 465, පී 437, පී 421, පී 436, පී 424, පී 433, පී 420 යාත්‍රා හා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයට අයත් සාමාජිකයින් පිරිසක් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජයසාගර නෞකාව සහ සිජි 407 යාත්‍රාව සහභාගි විය. තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝණය නියෝජනය කරමින් බෙල් 412, බෙල් 212 යානා ද මෙම අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දක්වන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න සහ ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ධනේෂ් පත්බේරිය, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුල ජයවීර සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී කපිතාන් චන්දන ප්‍රියන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools