EVENT NEWS 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026 (TRINEX - 26) සාර්ථකව නිමාවට පත්වෙයි

25 Jul 2026

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026’ (TRINEX - 26) 2026 ජූලි මස 20 සිට 24 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්තිය 2026 ජූලි මස 25 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.

ජාතික සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්‍ෂණ කටයුතු හා මෙහෙයුම්, ගුවන් හමුදාව සමඟ එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමත්, නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර සමුද්‍රීය අභ්‍යාස සඳහා සහභාගිවීමේදී අවශ්‍ය ශිල්පීය දැනුම, වෘත්තීයභාවය සහ හැකියාවන් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් මෙම අභ්‍යාසය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරණු ලබයි.

කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය සඳහා නාවික හමුදාවේ උපායමාර්ගික සූදානම සහ කැපවීම පිළිබිඹු කෙරෙමින් පැවැත්වුණු මෙම නාවික අභ්‍යාසය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අධීක්‍ෂණය කිරීම 2026 ජූලි මස 24 වන දින විජයබාහු නෞකාවේ සිට සිදුකෙරුණු අතර, නෞකා බලඇණිය මඟින් නැව්පති වෙත පිරිනැමෙන සාම්ප්‍රදායික ආචාරය (Steam Past) පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.

ඒ අනුව, 2026 ජුලි මස 25 වැනි දින ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය -2026’ හි නිමාව සනිටුහන් කරමින් පැවැත්වුණු සමාප්ති අවස්ථාවේ, මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා නෞකා බලඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බළකාය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම වාර්ෂික නාවික අභ්‍යාසය වන ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය (TRINEX) මඟින් නෞකා, මෙහෙයුම් පද්ධති සහ නාවික සාමාජිකයන්ගේ සංකීර්ණ සමුද්‍රීය මෙහෙයුම් සඳහා ඇති සූදානම ඉහළම මට්ටමින් පරීක්‍ෂාකර ශක්තිමත් කිරීමට හැකි වූ බවයි. මෙවර නාවික අභ්‍යාසය තුළින් නෞකා සහ යාත්‍රාවන්හි වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමටත්, නාවික බලඇණි අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා ඒකාබද්ධ මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීමටත් හැකි වූ බවද නාවික හමුදාධිපති විසින් පැවසීය.

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026’ (TRINEX - 26) සඳහා ප්‍රධාන නාවික යාත්‍රා, වේග ප්‍රහාරක යාත්‍රා, විශේෂ යාත්‍රා බලකාය, නාවික මැරීන් බලකාය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වූ අතර, එමඟින් සමුද්‍රීය ආරක්‍ෂාව ඒකාබද්ධ ප්‍රයත්නයක් බව යළිත් තහවුරු වූ බව නාවික හමුදාධිපති අවධාරණය කළේය.

අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලුම පාර්ශව වෙත ස්තූතිය පළ කළ නාවික හමුදාධිපති, මෙම අභයාසයේදී ලද අත්දැකීම් ඉදිරි මෙහෙයුම් සහ නාවික අභ්‍යාස සඳහා පදනම් කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කලාපය ආරක්‍ෂා කිරීම සඳහා වූ මෙහෙයුම් සූදානම තවදුරටත් ඉහල නැංවීමටත් උපයෝගී කර ගත යුතු බවද සඳහන් කළේය.

තවද, මෙම පුහුණු අභ්‍යාසයේදී, නාවික හමුදා නෞකා බලඇණියේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හොඳම නෞකා හා යාත්‍රා වෙත සම්මාන පිරිනැමීම ද නාවික හමුදාධිපති විසින් සිදු කෙරුණු අතර, එහිදී හොඳම විශාල නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවද, හොඳම කුඩා නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාව සහ හොඳම යාත්‍රාව ලෙස පී 494 ‍වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදාධිපතිගේ සම්මානයට පාත්‍ර විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසප්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න, වැඩ බලන ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ධනේෂ් පත්බේරිය, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුල ජයවීර, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී කපිතාන් චන්දන ප්‍රියන්ත ඇතුළු නාවික සහ ගුවන් හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools