ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය හා ඓතිහාසික වැදගත්කම පිළිබඳ නාවික හමුදා ග්‍රන්ථය එළිදැක්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ අංශය විසින් සම්පාදනය කරන ලද “Sri Lanka’s Maritime Heritage and Historical Significance” නැමැති නව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් 2026 ජුනි 12 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව, උත්සව අවස්ථාවේ ආරම්භක දේශණය සිදුකළ නාවික හමුදාධිපති, විවිධ ආයතන හා විද්වතුන්ගේ දායකත්වයෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය වූ බවත්, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමේ කැපවීම එහි සාර්ථකත්වයට හේතු වූ බවත්, සමුද්‍රීය ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට දායක වූ උපදේශක ලුතිනන් කොමාණ්ඩර් සෝමසිරි දේවේන්ද්‍ර ඇතුළු හිටපු නාවික හමුදා නිලධාරීන්ගේ සේවය සිහිපත් කළ නාවික හමුදාධිපති, මෙම ප්‍රයත්නය සදහා පුරෝගාමී වූ හිටපු නාවික හමුදාපති සහ ශ්‍රී ලංකා නාවික හමුදා උපායමාර්ගික අධ්‍යයන හා මූලධර්ම සංවර්ධන ඒකකයේ ප්‍රධානි ඇතුළු පිරිසගේ දායකත්වයද විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම, උත්සවය අමතමින් අදහස් දැක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය ලේඛනගත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා නාවික හමුදාව විවිධ පාර්ශව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම අගය කරන බවත්, වෙළඳ හා වාණිජ, සංස්කෘතිය හා ස්වභාවය, දිය යට තාක්ෂණය හා උරුමය (Trade & Commerce, Culture & Nature, Underwater Technology & Heritage, and Case Studies) මෙන්ම විශේෂිත අධ්‍යන ඇතුළත් මෙම ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසය පිළිබඳ වැදගත් දායකත්වයක් සපයන කෘතියක් බවද ප්‍රකාශ කරන ලදි.
මෙම ග්‍රන්ථයේ ප්‍රධාන සංස්කාරකවරයා සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්යවරයකු වන රාජ් සෝමදේව මහතාද උත්සවය අමතමින් ග්‍රන්ථයේ අන්තර්ගතය හා එහි ශාස්ත්‍රීය සහ සමුද්‍රීය වැදගත්කම පිළිබඳ අදහස් දැක්වීය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පේරාදෙණිය, කැලණිය සහ යාපනය විශ්වවිද්‍යාල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව සිදුකළ සහයෝගී ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇති බව සඳහන් කල ප්‍රධාන සංස්කාරකවරයා, ජාතික රාමුව තුළ නාවික හමුදාවේ විකාශනය වන භූමිකාව පිළිබඳ පුළුල් දැක්මට අනුකූල වූ ඉදිරි දැක්මකින් යුත් ප්‍රයත්නයක් වන මෙම කෘතිය, පද්ධතිමය පර්යේෂණ හා උපායමාර්ගික සැලසුම්කරණය ඔස්සේ සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනැගීම සඳහා නාවික හමුදාව දක්වන කැපවීම ද පිළිබිඹු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පර්යේෂණ උපායමාර්ගික සම්පතක් ලෙස සැලකෙන මෙම ග්‍රන්ථය, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සැකසීම, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ අන්තර්විෂය සහයෝගිතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. එමෙන්ම, වර්ෂ ගණනාවක් පුරා ගොඩනැඟුණු සමුද්‍රීය අත්දැකීම් හා දැනුම මත පදනම්ව වර්තමාන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන නාවික හමුදාවක් පිළිබඳ දැක්මක් ද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත. ජාතික හා කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා දැනුම දූරදර්ශීත්වය හා ඔරොත්තු දීමේ හැකියාව බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ද එමගින් පෙන්වා දෙයි.
තවද, මෙම අවස්ථාව සඳහා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික), නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. එමෙන්ම, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂක ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය අර්ජුන තන්තිලාගේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය නිලාන් කුරේ සහ ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ යන මහත්මයින් ඇතුළු විද්වත් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.